Sinhala Typing Tool

ජීව චක්‍ර.....

View previous topic View next topic Go down

ජීව චක්‍ර.....

Post  azores on 15th October 2016, 09:16

ජීව චක්‍ර.....
----------------------
ඉස්තෝප්පුව පැත්තෙන් එක පාරටම ලොකු සද්දයක් ඇහුණා..මොකක් හරි පෙරළුණ සද්දයක් වගේ.කෙමෙස්ට්‍රි ගාණකට ඇලිලා හිටිය මං එක පාරට ගැස්සිලා ගියේ බය වුණ පාරට වඩා තදින් ඇලිලා හිටපු වැඩෙන් මනස ක්‍ෂණිකව ගැලවිලා ගිය නිසයි.. "පොඩ්ඩෝ.. ටිකකට මෙහෙට වරෙන්.." අයියා ඉස්තෝප්පුවේ ඉඳලා කෑගැහුවා.
එක පිම්මට මම ඉස්තෝප්පුවේ..අයියා කනප්පුවත් පෙරළගෙන බිම වැටිලා.කිහිලි කරු දෙක ඇඟ දෙපැත්තෙන් දෙපොළකට වැටිලා..මගේ ඔළුව සීතල වුණා.
හනි හනිකට අයියව නැඟිට්ටෙව්ව මං අයියව හාන්සි පුටුවේ වාඩි කෙරෙව්වා.නැඟිට්ටවන අතරෙ අයියා එක එල්ලේ මොකක්දෝ දෙයක් දිහා බලාගෙන හිටියා.හාන්සි පුටුවේ ඉන්දවන කොටත් ඒ බැල්ම එහෙම්මමයි. "මොකද වුණේ අයියේ.." වැටුණ වැටිල්ලෙන් අයියට අනතුරක් නැහැ කියලා තේරුණයින් පස්සේ හිතේ බය අඩුවුණාට, ඒත් එක්කම ඒ අඩුව පුරවන්න කුතුහලයක් ඉස්සරහට ආවා.
මිදුල ඉස්සරහා තියෙන පොල් ගහට අත දික් කරපු අයියා.. "මට ඒක එකපාරටම තල් ගහක් වගේ පෙනුනා බං..ඊට පස්සේ හැමතැනින්ම වෙඩි සද්ද​..මට පැනලා දුවන්න හිතුණා.." අයියා දෑතින්ම කන් වසාගෙන මොහොතක් එහෙම්මම හිටියා.හිතේ දුක කඳුළු වලින් පනින්න නොදී මම හිරකර ගෙන හිටියේ බොහොම අමාරුවෙන්.මුල්ලේ තිබුණ පොඩි බංකු කෙටිය හාන්සි පුටුව ගාවින් තිබ්බ මං ඒකෙ ඉඳගත්තා.
"උඹ පාඩම් කර කරද හිටියේ.." මම යන්තම් ඔළුව උඩට පාතට වැනුවා. "පොඩ්ඩා පව්..මං හින්දා දුක් විඳිනවා..උඹ ආපහු හොස්ටල් එකට පලයන්.." ඒත් මං මුකුත් නොකියා කලවෙන් පල්ලෙහා අයියගේ කකුල ඉස්සර තිබුණ හැටි මං හිතෙන් මවා ගන්න උත්සහ කළා.
එතකොටම තමයි අම්මා ඈත තියාම එනවා පෙණුනේ..අතේ කොළ මිටියකුත් තිබුණා.හොඳ වෙලාවට උන්දැ දැන් එන්නේ.සිද්ධිය වුණ වෙලාවේ ආවා නම් මෙතන බය වෙලාම එක විකාරයයි.
"මොකෝ දෙන්නම මේ බකුසු මූණ දාගෙන බලාගත් අතේ බලාගෙන ඉන්නේ" ඉස්තෝප්පුවට ගොඩ වුණ අම්මා කොළ මිටිය දෙතුන් පාරක් ගැසුවා.
නමුත් ඒක අයියට නම් ඇහුණ බවක් පෙණුනේ නැහැ.ඒ වෙනකොටත් අයියා බර කල්පනාවක​.මම ගේ ඇතුළට ගිහින් අම්මා දිහා බලාගෙන හිටියා.අම්මා මගේ ඉඟිය තේරුම් ගත්තා. "මොකද වුණේ..?" අම්මා ඇහුවා,ඉතින් මම වුණ දේ කිව්වා.අම්මා කම්මුළේ අත ගහගත්තා.
"පොල් කරටිත් තල් කරටි වෙලා පේනවා.මෙහෙම කල්පනා කළොත් නම් පිස්සු හැදෙයි" "මම එමින් ගමන් වෙද මහත්තයගෙ ගෙදෙට්ටත් ගියා,තාම එක බෙහෙත් සාත්තුවයිනේ කළේ..හෙට හවස ආපහු එක්ක ගෙන එන්න කිව්වා.හැබැයි බෙහෙත් කොළ නම් ටිකක් මහන්සි වෙලා හොයන්න වෙනවා කිව්වා"
"ඒක නම් හොයන්න බැරියැ මූකලාන පීරලා හරි" මං කිව්වා.
මම ආපහු ගිහින් මේසය ලඟ ඉඳ ගත්තා.තවත් මට ඒ පොතේ තියෙන නියම වාද විවාද තවත් තේරුණේ නැහැ.මොකද ඒවා තේරුම් ගැනීමේ උවමනාව මොළයට තිබුණත් හදවතට නොතිබුණු නිසා.මගේ අයියා ඉදිරි ආරක්‍ෂක වළල්ලේ මාස ගණනක් සටන් වැදුණු රණවිරුවෙක්.කොටි බල ප්‍රදේශය එන්න එන්නම පටු කරමින් ආරක්‍ෂක වළල්ල ඉදිරියට​යන අතරෙදි සමහර අයගේ ඒ ගමන එක එක හේතු නිසා නැවතුණා.
මගේ අයියගේ ගමන නැවතුණේ කකුළට වැදුණු වෙඩි වලින්..අයියගෙ ගමන භෞතිකව එහෙම නැවතෙද්දී අයියගේ හොඳම යාළුවා සංජීව.. තමන්ගේ ඇස් ඉදිරිපිටම බෝම්බෙකට බිලිවෙද්දී අයිය හදවතින් නැවතුණා.
අයියා මේ විදිහට මනෝ විකාර පේන තරමටම මානසිකව ඇද වැටුණේ කකුල නැතිවීම නිසාද කියන එක නම් මට ප්‍රශ්නයක්.අපි හැමෝම ඒ වෙනුවෙන් දුක් වෙද්දී අයියා ඉස්පිරිතාල ඇඳේ හැඟීමකින් තොරව හිටියේ, නැතිවුණේ තමන්ගේ කකුල නොවන ගාණට​.ඒත් ඒ හිතේ දරාගන්න බැරි දුකක් ගුලි වෙලා තිබුණ බව මට මගේ සහෝදර හිතට තදින්ම දැණුනා.
"පොඩි පුතේ.." අම්මා ළඟටම ඇවිල්ලා කතා කරනකම් මම දැක්කේ නැහැ..මම "හ්ම්.." කියමින් පොතේ ඊළඟ පිටුව පෙරළුවේ බොරුවට. "අර කෙල්ල මම එන මඟට මුලිච්චි වුණා.කොච්චරවත් අහන්නේ ලොකු පුතා ගැනමයි.හවස් යාමේ එනවයි කිව්වා බලන්න​..අනේ මන්දා මගේ හිතට නම් ලොකු බරක්"
"අයියගේ හිතේ අකමැත්තක් තියෙනව නම් අපිට බැහැනේ අම්මේ ඒ ගැන වැඩිදුර හිතන්න​"
"ලොකු පුතා අකමැති වෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයිනේ.." අම්මා දුර්මුඛ ලීලාවෙන් පැවසුවා.පොඩි කාලේ ඉඳන්ම එකට වෙල් ඉපනැල්ලේ,රබර් වතු අස්සේ සෙල්ලම් කරපු අපේ රංචුව අස්සේ හිටියේ කෙල්ලෝ කීපදෙනයි.සුභාෂිණී අක්කා ඒ අතරින් විශේෂ වුණේ පොඩිකාලේ ඉඳන්ම මගේ අයියට ලෙංගතුව හිටිය නිසයි.
වයසින් වැඩෙන කොට ඒ හැඟීම තවත් වැඩි වුණත්, මගේ අයියා එක කුස නූපන් සහෝදරත්වයකින් එපිට සුභාෂිණී දිහා බලන්න උත්සහ ගත්තේ නැහැ.
"මම දන්නවා ඒකි ඒ කාලේ ඉඳන්ම ආදරේ කළේ මගේ කොල්ලගේ අංග සම්පූර්ණ හිතට​..අද ගතින් අංග සම්පූර්ණ නොවුනත් ඒකිගේ ඒ හැඟීම වෙනස් නොවුණේ ඒ නිසා.ඒත් මහ උන්දැලා නම් මේකට අකමැත්තක් නැත්තේ අපේ ඉඩකඩම් නිසා.මහ එවුන්ගේ වස්තු තණ්හාව ඒකිට ගෑවිල වත් නැහැ" මොහොතක් කල්පනාවක අතරමං වුණ අම්මා ස්වොත්සාහයෙන්ම ඒකෙන් මිදෙන පාර හොයාගෙන එහෙම කිව්වා.
කිව්වා වගේම සුභාෂිණී අක්කා හවස් යාමේ අපේ ගෙදර ආවා.අයියට නාන්න වතුර එක රත් කරලා දෙන තැනේ ඉඳන් බෙහෙත් ටික කොටලා සාත්තුව කරන්න එයා අම්මට හරි හරියට උදව් කරන හැටි මම පැත්තකට වෙලා බලාගෙන හිටියා.ගොඩක් දවස් වල මේ මාත​ෘකාව සම්බන්ධයෙන් අම්මයි අයියයි අතර වෙන සංවාද වලින් වඩාත්ම සාධාරණ කරුණු ගෙනහැර පෑමක් දැක්වූයේ අයියා නිසා අම්මට නිහඩ වෙන්න සිද්ධ වුණා.
මමත් අයියා කියපු දේවල් කරබාගෙනම පිළිගන්න පුරුදු වෙලා හිටියත් අද මට මේ දිහා වෙනස්ම විදිහකට බලන්න හිතුණා.අම්මා එහෙට මෙහෙට වෙනකම් බලලා අයියත් එක්ක තනියම කතා කරන්න රෑ බෝ වෙද්දී අයියගේ කාමරේට ගියේ ඒ නිසා.
"පාඩම් කරන්නේ නෑ රෑට​?" "විභාගෙට තව කල් තියෙනවනේ.." මම ඇඳේ ඉඳගන්න ගමන් කිව්වා.මං මොහොතක් ගොඩනඟා ගෙන ආපු සිතුවිලි ජාලෙම පැටළුණා. "උඹ මොනවා හරි කියන්න නේද ආවේ..?" අයියා මගේ සිතැඟි තේරුම් ගත්තා.
මම යන්තමට හිස වැනුවා. "අයියා සුභාෂිණි අක්කට අකමැති කාරණාව මට හිතාගන්න පුළුවන්.ඔයාගේ පැත්තෙන් ඒ දේවල් සාධාරණයි.කොහොමද මාත් එක්ක ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට උත්තරයක් නැතුවනේ ඔයා ඔය අඩිය ඉස්සරහට තියන්නේ නැත්තේ..ඒත් ඒකට උත්තරේ ඔයා ළඟ නැතුව එයා ලඟ තියෙනවා නම්..ඔයාට තියෙන්නේ ඉඩ දෙන එක විතරයි නේද අයියේ..?"
"මගේ කෝණෙන්ම මේ දිහා බලපු උඹ ඇයි දැන් වෙනස් වුණේ..? අයියගේ ප්‍රශ්නය ඇතුළේ පොඩි අනපේක්‍ෂිත ගතියක් හැංගිලා තිබුණා.
"මගේ කැම්පස් ජීවිතේ තව අවුරුද්දකින් ඉවරයි අයියේ..උපාධිය ගත්තයින් පස්සේ රස්සාවක් කරන්න මම මේ ලංකාවේ කොහෙට යයිද දන්නේ නෑ.ඊට කළින් මට ඔයාගේ ජීවිතයට තේරුමක් හොයලා දෙන්න ඕනේ"
"ඒක මගේ අසරණකමට විසඳුමක් මිස විවාහ ජීවිතයකට ඇතුළු වෙන නියම අරමුණ නෙවෙයි පොඩ්ඩෝ" අයියා කියපු දේ ඉස්සරහා මම නිරුත්තර වුණා.මම යන්න නැඟිට්ටා. "පොඩ්ඩෝ.." මම කාමරේ දොරකඩ ගාවට යනකොටම අයියා ආපහු කතා කළා.
"හෙට උදෙන්ම ලෑස්ති වෙලා යමුද පොඩි ගමනක්.." "ඒ කොහෙද​..අනික මොකටද​?" මම පුදුමයෙන් ඇහුවා. "වැඩි දුරක නෙවෙයි..අගලවත්ත පැත්තේ..උඹ මට හොයලා දෙන්න හදන තේරුම මට දැනටමත් ලැබිලා ඉවරයි" අයියා සුසුමක් හෙළමින් පැවසුවා. "අම්මා චුරු චුරු ගෑවොත් මං බලාගන්නම්..ලෑස්ති වෙයන්කෝ හෙට​"
අයියා කියන්න හදන දේ ගැන මට අගක් මුළක් හිතා ගන්න බැරි වුණා.තව තවත් හාරා ඇවිස්සුව පළියට අයියගෙන් කටවචනයක් ගන්න බැරි බව මම අත්දැකීමෙන් දන්නවා.මම කරබාගෙන කාමරයෙන් එළියට ආවා.
පහුවදා අගලවත්තේ යනකම්ම අයියා නෙවෙයි මාත් එක්ක එක වචනයක් කතා කළේ. බස් එකේ ජනේලෙ අයිනේ සීට් එකක් ළඟ ඉන්දවපු අයියා,වේගෙන් පහුවෙන දර්ශන දිහා ඔහේ බලාගෙන හිටියා.පුරුදු කල්පනාවෙම ඉන්න ඉඩ ඇරලා මමත් අයියා නියම කරන ගමනාන්තයට වෙනකම් සද්ද නොකර හිටියා.

"බෙල් එක ගහපන් මල්ලී.." හදිස්සියේ අවදි වූවෙකු මෙන් අයියා පැවසුවා.ඒ වෙනකොටත් අපි ටවුන් එක පහු කරලා හැතැප්ම හතක් අටක් ඇවිත්.
ඒක බොහොම ගම්බද පළාතක්.කොන්දොස්තරගෙත් උදව් ඇතිව හෝල්ට් එකෙන් මම අයියව බස්ස ගත්තා.අක්කර ගාණක් විහිදුණු රබර් වත්තකුයි,කනත්තකුයි විතරයි ඒ හරියේ තිබුණේ.
"යමන්.." අයියා කිහිලිකරු දෙක ඉස්සරහට තබමින් කනත්තේ අඩවල් කරපු ගේට්ටු පළු දෙකෙන් ඇතුල් වුණා.කනත්තේ කෙළවරටම වෙන්න තිබුණු සොහොන් කොතක් ගාව අයියා නැවතුණා.ඒක අයියත් එක්ක එකට ඉදිරි ආරක්‍ෂක වළල්ලේ හිටිය එයාගේ යාළුවා..සංජීවගේ සොහොන් කොත​.
"සංජීව මැරිලා මාස තුනයි අදට​..සංජීවගේ ගෙදර මිනිස්සු ඇවිත් පහන් පත්තු කරන්න කළින් මගේ පහන පත්තු කරලා යන්න ලොකුවට උවමනාව තිබ්බා...පොඩ්ඩෝ..මට උදව් කරපන් මේ වල්ටික ගලවන්න වල වටේ.."

"අයියා ඔහොම ඉන්න​,මම කරන්නම්" අනතුරුව අයියා ගෙදර ඉඳන්ම ගෙනාපු පොඩි ටියුලිප් බෑග් එකෙන් පහනකුයි පොල්තෙල් බෝතලෙයි එළියට ගත්තා.
හුළඟට ලෙළදෙන පහන් දැල්ල දිහා මමයි අයියයි මොහොතක් බලාගෙන හිටියා. "මට එක වෙලාවකට ඉරිසියයි.." මම කිව්වා. "ඒ මොකෝ..?" "සංජීව පිං කරලා තියෙනවා අයියා වගේ යාළුවෙක් ලබන්න​.අද වෙනතුරු මට කොච්චර මිනිස්සු හම්බ වෙලා තිබුණත් යාළුවෝ ගොඩට දාන්න එකෙක් හිටියේ නෑ..උන්ට මං යාළුවෝ කිව්වේ නමට​..හිත රිද්දන්න බැරිකමට​"
"සංජීවයි මායි අතර තිබුණු බැඳීම ඊට වඩා ගැඹුරුයි පොඩ්ඩෝ..සුභාෂිණී මං ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තුයි..ඒ ගෙදරින් ආපු යෝජනාවයි මගේ හිතට මෙච්චර බරක් වුණේ ඒකයි.යන්තම් හරි මගේ හිතට සහනයක් දැණුනේ මම ඊට විරුද්ධව අම්මට පෙන්නලා දුන්න කරුණු උඹත් පිළිගත්ත නිසයි.ඒත් ඊයේ ඇවිල්ලා උඹ කියපු දේවල් වලින් මම ආපහු ඇතුළින් දෙදෙරලා ගියා.ඒකයි මම මේ ගමන අද ආවේ.. මගේ ජීවිතේටත් තේරුමක් තිබුණා..ඒ තේරුම දුන්න මනුස්සයා තමයි අද මේ පස් වලට යටවෙලා ඉන්නේ..මාත් ආදරය කළා..අදටත් එහෙමයි"
මගේ කටේ කෙළත් හිඳිලා ගියා කිව්වොත් නිවැරදියි.ඒ තරමට මම වික්‍ෂිප්ත වුණ නිසා.ඒක මට අරුමයක් නෙවෙයි..මට ඒ ගැන සාධාරණ දැක්මක් තිබුණා.ඒත් මගේ ජීවිතයට මෙතරම් සමීප වුණ අයියගෙන් මට ඒ ගැන අබමල් රේණුවක තරම්වත් දෙයක් නොතේරුණ නිසයි මම පුදුම වුණේ.අන්තිමට ඒ පුදුමය ඒ ප්‍රමාණයෙන්ම දුකකට හැරුණා.ඒ හැඟීම් පරිවර්ථනයට හේතුව මටත් හිතා ගන්න බැහැ.
"සමාජය ගැන අපි කාටත් වඩා බැහැලා බලපු උඹට මේක දරන්න පුළුවන් බව මම දන්නවා.ඊටත් වඩා මාත් එක්ක ප්‍රාණ සම්බන්ධය තියෙන කෙනෙකුට මේ දේ කියන තරම් සැහැල්ලුවක් තවත් නැහැ"

"නිවාඩු දුන්න සමහර වෙලාවල් වලදී අයියා ගෙදර ආවේ නැත්තේ ඒ නිසාද​?" මගේ පැනයට අයියා හිස වනා පිළිතුරු සැපයුවා.
"ඔව්..ඒ දවස් වලදී මම එයත් එක්ක අපේම ලෝකෙක තනි වෙනවා.ඒක පටන් ගත්තේ අපි ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්න කොටමයි. කෑම්ප් එකේ අයටයි පිට ඉන්න අයටයි අපි දෙන්නව පෙනුනේ පතාගෙන ආපු යාළුකමක් විදිහට​.ඒත් අපි දෙන්නා අපේ නිදහස භුක්ති වින්දා. අපිටත් හීන තිබුණා..අපිටම කියලා ලෝකයක් හදාගන්න උවමනාවක් තිබුණා..ඒකට හොඳ සැලැස්මකුත් තිබුණා..අනිත් අයට වගේම​.."
අයියා හදිසියේම නිශ්ශබ්ද​ වුණා.එතනින් එහාට අයියට වචන පැටලෙන බව එයා දැනගෙන හිටියා.අපි සොහොන අසළ සිමෙන්ති පඩියේ ඉඳගෙන මොහොතක් ඒ නිහඩතාවයට ඉඩ දුන්නා.
"කවුරු හරි කිව්වොත්..ජීවිතය කියන්නේ තමන්ගේ පාලනය යටතට ගන්න පුළුවන් දෙයක් කියලා..මම ඒ මනුස්සයා ඉස්සරහා උත්තර බඳින්න යන්නේ නැහැ, මොකද මගේ උත්තරය නිසා ඒ මිනිහා උත්සාහය අතහරින්න පුළුවන්..ඒත් ඇත්තටම​ අපි අපිට ඕන විදිහට දේවල් වෙනස් කරන්න දරණ උත්සාහයයි,කොහොමත් වෙන්න තියෙන දේ අතරයි මැදිනුයි ජීවිතය ගලාගෙන යන්නේ..ඒක තේරුම් ගත්ත මිනිහා හිමි වීම් අහිමි වීම් එක විදිහට දරාගන්නවා.මගේ වෙඩි වැදුණේ කකුලට තමයි..ඒත් මට ගාණක්වත් නැහැ.ඒත් සංජීව බෝම්බෙට අඩිය තියන කොට මගේ හිත කුඩු වෙන්නම ඒකටත් වෙඩි වැදුණ බව කවුරුවත් දන්නේ නැහැ..දැන් උඹ හැරෙන්න.."
"අයියා මට මේ දේවල් කියපු එක ලොකු දෙයක්.මොනවා වුණත් මම ඔයාගේ එක කුස උපන් සහෝදරයා.අපි එහෙනම් දැන් ඒක ඒ විදිහට බලමු..මොකද ඔයා තවමත් ජීවත් වෙනවා"

"බැහැ පොඩ්ඩෝ..මට දැන් මහන්සියි.තවදුරටත් උඹලට මාව බරක් වෙන්නේ නැහැ.උඹ උපාධිය අරන් ලෝකේ කොහෙට ගියත් කමක් නැහැ.යන තැනකට අම්මවත් අරගෙන පලයන්..මම හැරෙන්න තීරණය කළා.හැඩිගල්ල පැත්තේ ආරණ්‍ය සේනාසනයක් තියෙනවා..ඒකේ ස්වාමීන් වහන්සේව මම දන්නවා.පැවිදි වෙන්න අවසර නැහැ මට..ඒත් මගේ අරමුණට යන්න ඒක බාධාවක් නෙවෙයි.උඹ වරදවා හිතන්න එපා..මගේ තුන්හිතකවත් කලකිරීමක් නැහැ"
මගේ ඇස් වලින් කදුළු කැට මතුවුණා.ඒත් හිතේ කොතනකවත් දුකක් නම් තිබුණේ නැහැ.කදුළු මතුවෙන්න හේතුවක් මම දන්නෙත් නැහැ.

ටික වෙලාවකින් රතිඤ්ඤා කීපයක් පුපුරන සද්දේ ඈතින් ඇහෙන්න ගත්තා.
අනතුරුව කන් බිරී කරවන තරමට දසතින්ම රතිඤ්ඤා පුපුරන්න පටන් ගත්තා.අයියගේ මූණේ යන්තමට හිනාවක් ඇදුණා. "ඇහෙනවද සංජීව​..ඒක ඉවරයි දැන්.." අයියා සොහොන් කොතේ සංජීවගේ පින්තූරය දිහාවට හැරිලා යන්තමින් මිමිණුවා.
avatar
azores
+ 250 Posts

Now :
Online
Offline

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 342
GetReal Gold : 4680
Member Since : 2013-07-06

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  jay.rishan on 15th October 2016, 11:13

හරිම ලස්සන හිතට දැනෙන කතාවක්.හැමදාම කියන්න වගේ ඔයාගේ හදවතට එබිල හදවත ස්පර්ශ කරන එක ගැන මන් පුදුම වෙනවා අයියේ.අපේ ජීවිතේ කොයි මොහොතෙ මොකක් වෙයිද කියල අපි කාටවත් කියන්න බැහැ.සමහරවිට මේ අදහස වචන කරන මොහොතෙ මන් මියැදෙන්නත් පුලුවන්.ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ.සහෝදර බැදීම වගේම ආදරය කියන උතුම් බැදීම ගැන අපූරුවට කියල දෙන තවත් අපූරු ආත්මීය කතාවක් අපිට දුන්නටගොඩක් පින් අයියේ.මේ වගේ හිතට දැනෙන හිත නිවන කතා අරන් හැමදාම අපිත් එක්ක එකතු වෙන්න.ස්තූතියි.
avatar
jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 458
GetReal Gold : 1931
Member Since : 2015-09-05

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  සහන් on 15th October 2016, 11:54

හරිම සංවේදි කතාවක්.
ජීවිතයම හිස් උනත් ජීවිතේ දිනන්න ආදරය එක්ක ජීවත් වෙන.
ජීවිතේ අරමුනට යන්න වෙර දරන වීරයෙක්.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2325
GetReal Gold : 8469
Member Since : 2013-01-29

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  waruna on 15th October 2016, 12:21

ow........... hamadama wage........ hama katawama wage........ wanasma konaykin balapu katawk

waruna
Regular Member

Now :
Online
Offline

Mood : Relaxed

City : colombo
Country : Sri Lanka
Posts : 97
GetReal Gold : 3272
Member Since : 2013-01-28

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  IceCool on 15th October 2016, 13:39

ඔයා හැමදාම පුපුවට දැනෙන්නම ලියනව azores  pride
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1244
Member Since : 2016-07-07

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  asanpathi on 17th October 2016, 02:33

Ube anith hama kathawak wagema me kathawath hadawathata danenna, jeewithayata deyak ganna puluwan widiyata uba lassanata liyala thyenawa. Ube lekana hakiyawa thawa thawath wadi diyunu karan jeewithe issarahata yanna hadawathinma suba pathanawa machn.....
avatar
asanpathi
Regular Member

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 38
GetReal Gold : 2462
Member Since : 2014-02-05

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  Hitha Honda Kolla on 18th October 2016, 04:26

අසොරෙෂ් මං වැඩියෙ දේවල් කියන්නැ. රිෂාන් මල්ලියි, සහන් අයියයි කියපු දේවල්මයි මටත් කියන්න තියෙන්නෙ. පොඩි දෙයක් එකතු කරන්නම්. ඔයා හැමදාම හැම කථාවකින්ම අපේ ජිවිතයට එකතු කර ගන්න දෙයක් අපිට දෙනවා. ඒකට බොහොම ස්තුතියි මිතුර​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4070
Member Since : 2015-05-03

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  kasun.lakmal on 26th October 2016, 07:56

හරිම සන්වේදී ලස්සන කතාවක්. කතාව මැදදී දුකක් දැනුනත් අන්තිමේදී හිතට සහනයක් දැනුන.
avatar
kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 228
GetReal Gold : 1000
Member Since : 2016-07-09

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  Siyapath on 30th October 2016, 23:28

Superb. you should publish this in a public news paper
avatar
Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8652
Member Since : 2013-01-26

Back to top Go down

Re: ජීව චක්‍ර.....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum